කසාදයක් බදින්න හිතලවත් නැති කාලෙක ඉදලම මගෙ ලොකුම හීනයක් උනේ කවද හරි මගේම දූ පැටියෙකුට තත්තා වෙන එක..
ඉතින් වයිපරෙත් එක්ක එක වහලක් යටට උන දවසෙ ඉදලා කොයි මොහොතේ හරි සුබ ආරන්චියක් ලැබෙනකල් ඇඟිලි ගැන ගැන හිටියේ..
දවස දෙදාස් විස්සෙ නොවැම්බර් විසිඅට. එදා තමයි අපි දෙන්න අතරට තුන්වෙනියෙකුත් එන්න ඉන්නව කියල අපි ඉස්සෙල්ලම දැන ගත්තේ..
කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල දැනගෙන නොහිටියට දුවෙක් කියලමයි මගේ හිත කිව්වේ..වයිපරේගෙ නම් වැඩි ආසාව තිබ්බෙ කොලු පැට්ටෙක්ට..අම්මල ආස පුතාලට කියනවානේ ...
ඉතින් මුල් මාස තුනේ අපි දෙන්න අතර තිබුන සොඳුරු සංවාද වලට හේතු කාරනාව උනේ ඕක.. ( කාව ලැබුනත් ආදරේ අඩුවක් නෑ ඉතින්.. )
මම ඉපදුනෙත් කලබල වලින් රටම වෙලාගෙන තිබුන අසූඅටේ නොවැම්බර් මාසේ දවසක..අපේ පැටිය අපි ළඟට එන්න යන්නෙත් කොවිඩ් කලබල වලින් රට වෙලිල තියෙන කාලෙක...
වසන්ගත කලෙ රජයේ රෝහල් වල කොවිඩ් රොගීන් පිරිල ඉතිරිල තිබුන කාලයක් හින්ද පෞද්ගලික රෝහලකින් වෛද්‍යවරයෙක් චැනල් කරගන්න අපි තීරනය කලා..
ඉතින් තුන්වෙනි මාසෙ ස්කෑන් එකෙන් පස්සෙ ඔයාලට ලැබෙන්න ඉන්නෙ දුවෙක් කිව්වම මට පුදුම හිතුනෙ නැහැ ..
කාලය හිමීට් වගේම පරිස්සමට ගතවෙලා ගියා..කාලෙන් කාලෙට කොවිඩ් නිසා කරපු ලොක්ඩවුන් කාලවල් අපිට වෙස්වලාගත් ආශිර්වාදයක් උනා...අවශ්ය උන හැම වෙලේම මම රැකියාවට ගියත් , බබා ලැබෙන්න හිටපු කාල සීමාවේ වයිපරේට නම් වැඩට යන්න උනේ මාස තුනක් විතර. අනික් කාලේ විවේකෙන් ගෙදරට වෙලා ඉන්න ඇයට හැකියාව ලැබුනා..
මාස පහක් විතර ගත උනාට පස්සේ අපි දෙන්න අතරේ එයත් ඉන්නව කියල පෙන්නන්න දු පැටියගෙන් පොඩි පොඩි ෆුට්බෝල් පාරවල් විදගන්න වයිපරේට සිද්ද උනා...
පොඩි පොඩි දැඟලිලි තව මාස කීපයක් යනකොට උඩ පිනුම් බඩ පිනුම් දක්වා වර්ධනය වෙද්දි දොස්තර මහත්තයට වැරදුනා වත්දෝ කියල අපි දෙන්නටම හිතුනේ, තැම්පත් අහින්සක දු පැටියෙක් මෙච්චර දග වෙන්න බෑනෙ කියල හිතල...ඒත් ඉතින් ඊලඟ ස්කෑන් එකේදි කිව්වෙත් කෙල්ලෙක් කියලම තමා...පව් ඈ මගෙ වයිපරේ...
කොරෝනාව මට්ටු කරගෙන ඩිලිවරි ඩේට් එක ටික ටික ලන් වෙද්දි අපිට තව අබියෝගයක් ආව..වයිෆ් ගෙ බ්ලඩ් ප්‍රෙෂර් වැඩී කියල කලින්ම රෝහල් ගතවෙන්න අපිට සිදු උනා...
බ්ලඩ් ප්‍රෙෂර් තත්වෙ හින්දා නෝමල් ඩිලිවරියක් වෙනුවට සීස කරල තමයි බබා ගන්න නියමිත වෙලා තිබුනේ..ජීවිතේ පලවෙනි වතාවට රොහල් ගත වෙලා හිටපු වයිපරේ නම් හොදටම බයවෙලා හිටියේ..
දෙදාස් විසිඑකේ ජූලි පහලව උදේ හයට තමයි වයිෆ්ව තියේටර් එකට ගත්තේ.. මටත් ඇගේ ලගින් ඉදලා අතින් අල්ලන් ඉන්න ලැබුන එක අපි දෙන්නටම ලොකු සහනයක් උනා...
උදේ හයයි විසිඅටට අපේ දෝණි අපි ළඟට ආවේ. ඊට පස්සෙ තුන්දෙනා එක්ක සෙල්ෆි චායාරූපයකට පෙනී ඉඳලා තවත් දවසක් හොස්පිටල් එකේ ඉඳලම තුන්දෙනා ගෙදර ආවා...ටික දවසකින් ඉසිති ඉමන්දි කියල නමකුත් තිබ්බා..
ඉතින් මේ දවස්වල රැ ජාමෙට ඉසිතියි එයාගෙ අම්මයි එක්ක නයිට් ඩියුටි කරල, උදේ වරුවේ නැපි ලෝඩ් එක සෝදන එක තමා මගෙ ලොකුම රාජකාරිය ...
තවත් සතරෙගෙ කතාවක් එක්ක හමුවෙමු.....